Friday, June 6, 2025

මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සිදු කරන ලද ප්‍රථම පාර්ලිමේන්තු කථාව

Must Read

මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සිදු කරන ලද ප්රථම පාර්ලිමේන්තු කථාව ය.
==================================

‘මහින්ද රාජපක්ෂ’ මෙරට ක්රියාකාරී දේශපාලනයට පිවිසියේ අප කවුරුත් දන්නා පරිදි ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමන්ගේ අභාවයෙන් පසු ව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් 1967 දී ඔහු ව බෙලිඅත්ත ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් පත් කිරීමෙන් අනතුරුව ය. 1970 මැයි මස 27 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද 23,103 ක් ලබා ගනිමින් බෙලිඅත්ත ආසනයේ මහජන මන්ත්රීවරයා වශයෙන් පර්සි මහේන්ද්ර රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එම ජයග්රහණයෙන් අනතුරුව බලයට පැමිණි සමඟි පෙරමුණු ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය රැස් වූයේ, 1970 ජුනි 14 වෙනි දින වූ අතර එහිදී අග්රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතා විසින් සිදු කරන ලද රාජාසන කථාවට ස්තූති යෝජනාව ගෙන ඒමේ අවස්ථාව උදා වූයේ, එම පාර්ලිමේන්තුවේ සිටි ළාබාලතම මන්ත්රීවරයා වූ බෙලිඅත්තේ මහේන්ද්ර රාජපක්ෂට ය.

පසුගිය දිනක රාජ්ය ලේඛනාගාරයේ තිබී මහින්ද රාජපක්ෂ මහතා මීට වසර 55කට පෙර එලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් සිදු කරන ලද මංගල කථාව අඩංගු හැන්සාඩ් වාර්තාව මට හමු විය. පසුව අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව හැන්සාඩ් වාර්තාවේ එම කථාව අඩංගු පිටු කිහිපයේ මෘදු පිටපතක් ලබා ගැනීමට ද මට හැකි විය.

පහතින් දැක්වෙන්නේ අදටත් මෙරට දේශපාලනයේ වඩාත් බලපෑම් සහගත ම චරිතය(ක්) වශයෙන් සැලකිය හැකි මහින්ද රාජපක්ෂ විසින් සිදු කරන ලද එම ඓතිහාසික පාර්ලිමේන්තු කථාව ය.

==================================

Debate on the address [First day] 4,07 Mr, Mahendra Rajapakse-Beliatta
මහේන්ද්ර රාජපක්ෂ මයා.(බෙලිඅත්ත);

“ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේ දී මා නැගී සිටින්නේ අතිගරු අග්රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් පවත්වන ලද රාජාසන කථාවට ස්තූති යෝජනාව ඉදිරිපත් කිරීමටයි.

ගරු කථානායකතුමනි, 1970 ජනතා ජයග්රහණය වනාහි මේ රටේ කෝටියකට අධික දුක් විඳින ජනතාව පහුගිය අවුරුදු පහ තිස්සේ නිහඬ ව හදවත් හි දරා ගෙන සිට දුක් සුසුම් අතරින් පැන නැගි ඓතිහාසික ජයග්රහණයක්. එය මුළු ලොව මවිත කර වූ ජයග්රහණයක්. මේ ජයග්රහණයෙන් බිහි වුණු 1970 වේ ජනතා රජයේ ප්රථම රාජාසන කථාවට ස්තූති යෝජනාව ගෙන ඒමේ භාග්යය මට ලැබී තිබෙනවා.ඒ වනාහි මට නොව දකුණු ලංකාවේ රුහුණු රටේ බෙලිඅත්ත ආසනයේ හතළිස් හය දහසක් පමණ මහ ජනතාවට ලැබුණු භාග්යයක්. මෙම භාග්යය ලබාදීම පිළිබඳ ව බෙලිඅත්ත ආසනයේ මහජනතාව ඔබතුමන්ටත්, ගරු අගමැතිණිය ප්රමුඛ සමඟි පෙරමුණු රජයටත් පුද කරන ලෙස මා අත එවූ සුහද උණුසුම් ආශිර්වාදය මේ ගරු සභාවට ප්රකාශ කර සිටීමට පළමුවෙන් මම ඔබතුමාගේ අවසරය ඉල්ලනවා.

ගරු කථානයකතුමනි, ලංකාවේ මෑත ඉතිහාසයේ අතිශය වැදගත්, එහෙත් බොහෝ විට අපට අමතක වන එක් අනුස්මරණීය සිද්ධියක් ඔබතුමන්ට සහ මේ ගෞරවනීය සභාවට සිහිපත් කරලීමට මට අවසර දෙනු මැනැවි.1948 දී බ්රිතාන්ය අධිරාජ්යවාදීන් මේ රටින් ගියේ ඔවුන්ට සුවච කීකරුව සිටින සේ පුහුණු කළ කළු ඉංග්රීසි ධනපති නියෝජිත පිරිසකට මේ රටේ පාලනය භාර දීලයි. මේ පිරිස සිංහල දැනගෙන සිටියේ නැහැ. සිංහල රට, සිංහල ඉතිහාසය, සිංහල සංස්කෘතිය දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා සිංහල භාෂාව කුස්සියට සීමා වී තිබුණා. ගරුතර සංඝ රත්නය, වෙද මහතුන් රාජ අනුග්රහය නොලැබ අනාථව, අසරණ ව සිටියා. ඒ පාලක පක්ෂය අතර සිටි එක් දූරදර්ශී ශ්රේෂ්ඨ ලංකා පුත්රයෙක් මේ අභාග්ය සම්පන්න තත්ත්වය දැක කම්පා වූ හදවතකින් යුක්තව තමන්ගේ පන්තිය සහ සගයින් හැර දමා අවිනිශ්චිත අනාගතයක් කරා, එහෙත් ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්ත ව මේ රටේ දුක් විඳින ජනතාව වෙතට 1951 ජූලි 12 වන දින පා නැගුවා.

ගරු කථානායකතුමනි, ඒ ශ්රේෂ්ඨ ලංකා පුත්රයා දිවංගත ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක සිරිමතාණන් ය. මම මේ දිනය ලංකා ඉතිහාසයේ අමරණීය දිනයයි කියන්නේ මක් නිසා ද? ධනපති වාදයේ අඳුරු ඡායාව වෙතට ඇදගෙන යමින් තිබූ මේ රටේ ජනතාව සමාජවාදයේ අරුණාලෝකය වෙතට පළමු වරට යොමු කරවූයේ මේ අතිශය වැදගත් දිනයේදී බව මා ප්රකාශ කරනවා. එදා බණ්ඩාරනායක සිරිමතාණන් එක්සත් ජාතික පක්ෂයත්, තම ඇමති ධූරයත් හැර දමා පෑගෙන මහජනතාවගේ පිළට එක් වූ දවස ඇත්ත වශයෙන් ම ශ්රී ලංකා නිදහස් පක්ෂය පිළිසිඳුණු දවස යයි මා විශ්වාස කරනවා. ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂය පසුගිය අවුරුදු 18 තිස්සේ අනිකුත් සියලුම සමාජවාදී බලවේග අනුව එකමුතු වී, සමඟි වී මේ රටේ පෑගෙන මහජනතාව සමාජවාදය වෙතට ඉතා ජයග්රාහක අන්දමින් මෙහෙයවා තිබෙන බව මේ ගරු සභාවට සිහිපත් කිරීමට කැමතියි.මේ නිසයි, ගරු කථානායකතුමනි, ඒ දිනය ලංකා ඉතිහාසය අමුතු යුගයකට, අමුතු මඟකට යොමු කළ අනුස්මරණීය දිනයක් යයි මා විශ්වාස කරන්නේ. එදා ගරු බණ්ඩාරනායක සිරිමතාණන් මේ නව යුගය පිළිබඳව අවිනිශ්චිත අනාගතයක් හිසින් ගෙන තම පන්තිය හැර දමා පෑගෙන මහ ජනතාව වෙතට පිය නගද්දී එතුමාට ආත්ම ධෛර්යයක් දෙමින් එතුමා පසුපස ගමන් කළ එක් වීර රුහුණු පුත්රයකු ගැන ගරු බණ්ඩාරනායක සිරිමතාණන්ගේ වචනයෙන් ම මම මේ සභාවට සිහිපත් කරන්නට කැමතියි. බණ්ඩාරනායක සිරිමතාණන් මෙසේ කියා තිබුණා.

“මම හිතුවා ඒ මගේ සෙවණැල්ලෙයි කියල.පස්සෙ බැලූ කොට ඒ ඩී.ඒ.”

ගරු කථානායකතුමනි, මගේ දිවංගත පියාණන් එවකට රුහුණු මහජන මන්ත්රීවරයායි. ඒ නිසා එතුමා බණ්ඩාරනායක සිරිමතාණන් පසුපස ගෙන ගියේ රුහුණේ බෙලිඅත්තේ මහජනතාවගේ අපේක්ෂාවන්. මේ නිසා ගරු කථානායකතුමනි, බෙලිඅත්තේ මහජනතාව ලංකාව නව යුගයකට යොමු කළ ඒ ඓතිහාසික සිද්ධියේ සැබෑ කොටස්කරුවන් බව ආඩම්බරයෙන් අදත් සිහිපත් කරනවා. ඒ නිසාම බෙලිඅත්තේ මහජනතාව එදා පිළිසිඳ ගත් ජයග්රාහී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක කොටස්කරුවන් වීමේ භාග්යය ලැබූ අයයි. බෙලිඅත්තේ මහජනතාව තමන්ට මෙම භාග්යය හිමිකර දුන් ඒ බණ්ඩාරනායක සිරිමතාණන්ගේ සෙවණැල්ල වූ දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාණන්ගේ ආදරණීය පුත්රයා 1970 දී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහජන මන්ත්රීවරයා වශයෙන් අද මේ ගරු සභාවට පත් කර එවා තිබෙනවා.

ගරු කථානායකතුමනි, මෑත ඉතිහාසයේ ලංකාව නව යුගයකට යොමු කළ යට ගිය ඓතිහාසික සිද්ධියේ දී බෙලිඅත්තේ මහජනතාව කොටස්කරුවන් වීම පුදුමයක් නොවෙයි. මට වරම් දී එවූ ඒ ජනතාව අනුස්මරණීය ඓතිහාසික අවස්ථාවන්හි දී කොටස්කරුවන් වූ බව ඔබතුමාණන්ට සිහිපත් කිරීමට කැමතියි. සම්බුද්ධ ශාසනයත්, ජාතියත් ගළවා ගැනීමේ වීරෝදාර සටනේ දී වීර දුටුගැමුණු රජතුමා පසුපස ගිය ගෝඨයිම්බර යෝධ පුත්රයා උපන් නෙටොල්පිටිය ගම මා නියෝජනය කරන කොට්ඨාසයේ පිහිටියක්. ලංකාද්වීපයේ ධර්ම ශාස්ත්ර අභාවයට ගොස් තිබුණු වකවානුවක වැලිවිටියේ පිණ්ඩපාතික ශ්රී සරණංකර සංඝ රාජයාණන් වහන්සේ කන්ද උඩරටින් විද්යා ආලෝකයේ පහන දල්වද්දි, දක්ෂිණ ලංකාවේ විද්යාලෝකය පතුරුවා හැරිය ගරු සිටිනාමළුවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ ඉපදුණු ඓතිහාසික සිටිනාමළුව ගම පිහිටියේත් මා නියෝජනය කරන කොට්ඨාසයේ යි. සෙත් කවි හා වස් කවි පිළිබඳ සහජ දක්ෂතා ඇතිව සිටි බරණ ගණිතාචාර්යතුමා, පත්තායමේ ලේකම්තුමා, බැදිගම වීරසිංහ වැනි කවියන්, වාදීභසිංහ බැදිගම රතනපාල හිමි, වැලිපටන්විල ශ්රී දීපංකර හිමි, කරතොට ධර්මාරම නාහිමි වැනි මහ පඬිවරුන් වැජඹුණේ ද බෙලිඅත්ත අවට ගම්වලයි.

ගරු කථානායකතුමනි, බෙලිඅත්ත ආසනයට නම ලබා දුන් බෙලිඅත්ත ඉතා පැරණි වෙළෙඳපොළක් බව ඔබතුමාට සිහිපත් කරවන්නට මා කැමතියි. අගනා සිවුමංසන්ධියක් සහ රමණීය උස් භූමියක් පිහිටි දිනපතා වෙළෙඳපොළක් පවත්නා බෙලිඅත්ත කදිම නගරයක් බවට පත් කළ හැකියි. එහෙත් අද එය නගරයක හෝඩුවාවක්වත් දැනගත නොහැකි නිකම්ම කඩපළක් පමණයි. විධිමත් සැලැස්මකට අනුව බෙලිඅත්ත නගරයක් කර දුනහොත් එය බෙලිඅත්තේ මුළු මහත් ජනතාවම ජනතා රජයට සදහටම කෘතගුණ දක්වන කාරණයක් වනු ඇති.

ගරු කථානායකතුමනි, මා නියෝජනය කරන ආසනයේ සෑහෙන තරම් කොටසක් ධීවර කර්මාන්තයෙන් යැපෙන දුක්බර අය බව මේ ගරු සභාවට සිහිපත් කර සිටිනවා. දකුණු ලංකාවේ ඉතා ප්රසිද්ධ ධීවර ගම් කීපයක් මේ කොට්ඨාසයේ පිහිටා තිබෙනවා. මාවැල්ල, කුඩාවැල්ල ආදී ඉතා ජනාකීර්ණ ධීවර ගම්වල ජනතාව සිය ජීවිත පරදුවට තබා මුහුද සමඟ සටන් කොට ඉතා දුකසේ ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවන ක්රමය වාසනාවන්ත කිරීම සඳහා ධීවර සංරක්ෂණ ක්රමයක් හා ඔවුන්ගේ මුහුදු යාත්රා ගැනීමට ණය පහසුකම් ඇති කිරීම සහ ධීවර ආම්පන්නවල අධික මිල පහත හෙළීම වැනි ක්රමවලින් උදව් කළොත්, තංගලු පෙදෙසේ ධීවර ජනතාව ජනතා රජයට කෘතඥ වන බව කිව යුතුයි.

ගරු කථානායකතුමනි, තංගල්ලේ තානායම ළඟ සිට නැගෙනහිර දෙස බලන විට ඈතින් පෙනෙන රැකව තුඩුව තෙක් කවාකාරව විහිදුණු අති රමණීය ස්වාභාවික තංගලු වරාය අද මෝඩ වරායක් බවට පත් වී ඇති සැටි තංගලු ධීවර ජනතාව කඳුළු පිරි දෑසින් යුක්තව සිහිපත් කරනවා. එදා ඒ තිබුණු වරායත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රජයෙන් මුදල් වෙන් කළ ධීවර මධ්යස්ථානයත් අද එහි නැහැ. අද එහි තිබෙන්නේ පොල් වැවීමට වුවත් පුළුවන් වැලි ගොඩ ගැසුණු වරායක්. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, අද එම වරාය නැව් නවත්වන මුහුදු වරායක් වශයෙන් නොවෙයි, මුහුද ගොඩ කිරීමේ ව්යාපාරයක් වශයෙන් නම් සාර්ථක වී තිබෙන බව මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ගරු කථානායකතුමනි, තංගල්ලට අංග සම්පූර්ණ ධීවර කටයුතු මධ්යස්ථානයක් සහිතව වරායක් ඇති කිරීම පිළිබඳ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස මේ ගරු සභාවෙන් මා ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි, මා නියෝජනය කරන ආසනයේ වැසියන් බොහෝ කොට ගොවිතැන් බතින් ජීවත් වන අය බව මා කියා සිටිය යුතුයි. කුඹුරු ගොවිතැන සඳහා පුරාතනයේ සිට පැවත එන කුඩා ග්රාමීය වැව්වලින් ජලය ලබාගෙන ගොවිතැන් කරන මේ ගොවි මහතුන්ට ඒ පැරණි වැව් හා ඇළ වේලි ක්රමවත් සේ සකස් කොට නවීන විද්යාත්මක වගා ක්රම පිළිබඳ අවබෝධයක් දී උදව් කළ හැකි නම් එය මේ ජනතා රජය බිහි කිරීමට ඔවුන් දැරූ ආයාසයට කළගුණ සැලකීමක් බව මම ඔබතුමන්ට සිහිපත් කරනවා. ගරු කථානායකතුමනි, අතිගරු අග්රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද රාජාසන කථාවේ සුළු වාර්මාර්ග ප්රතිසංස්කරණය හා නඩත්තුව රජයට පවරා ගන්නට අදහස් කරන බව ප්රකාශ වී තිබුණා. මෙය බෙලිඅත්තේ පැරණි ගම්වල වැව් හා ඇළ වේලිවලින් ජලය ගෙන කුඹුරු වගා කරන ගොවි මහතුන්ට ඉමහත් ප්රීතිය ගෙන දෙන්නක් බව මා සඳහන් කළ යුතුයි. රාජාසන කථාවේ ඉදිරිපත් වූ මේ අදහස අනුව තංගලු වෙල් යායේ කරදිය මුහුදට බස්සන ක්රමයක් ඇති කළොත් අක්කර 2,400 ක් පමණ වූ මේ වෙල් යාය යල මහ දෙකටම සරුවට වගා කරන්නට හැකි වෙනවා ඇති.

ගරු කථානායකතුමනි, බෙලිඅත්ත ආසනයේ ගොවි ජනතාවගෙන් විශාල කොටසක් හේන් ගොවිතැනින් ජීවත් වන අයයි. ඔවුන් කටුසර බෝග වගා කර ගෙන දුක සේ ජීවත් වෙනවා. රුහුණ විශේෂයෙන් කුරහන් ගැන ප්රසිද්ධියක් උසුලනවා. රුහුණේ සිංහයා නමින් විරුදාවලිය ලබා සිටි දිවංගත ඩී.එම්.රාජපක්ෂ මහතා එවකට හම්බන්තොට ගරු රාජ්ය මන්ත්රීතුමා තම සාටකය සඳහා තෝරා ගත්තේ කුරහන් පාට බව මෙහි දී මා මතක් කරනවා. මේ නිසා කුරක්කන් වැනි කටුසර බෝග වගා කරන ගම්බද හේන් ගොවීන්ට පහසුකම් ලබා දුනහොත්, ඔවුන් ජනතා රජයට බෙහෙවින් කෘතඥ වෙනවා ඇත. මා බොහොම සන්තෝස වෙනවා, රාජාසන කතාවේ ඉඩම් නැති ගොවීන්ට ඉඩම් බෙදා දීමේ ක්රමයක් පිළිබඳව සඳහන් කර තිබීම ගැන. සුළු කර්මාන්ත, ගෘහ කර්මාන්ත සහ සුළු කාර්මික වැඩපොළවල් ඇති කිරීම සහ දියුණු කිරීම ගැන රාජාසන කතාවෙහි සඳහන් වුණා.

මුළු ලංකාවේ ප්රකට අති විසිතුරු චිරාගත ලාක්ෂා කර්මාන්තය රඳා පවතින්නේ මා නියෝජනය කරන ආසනයේ පිහිටි අඟුල්මඩුව නම් ගමේයි. තවද, පිත්තල කර්මාන්තය, වළං කර්මාන්තය යනාදී සුළු දේශීය ගෘහ කර්මාන්ත පෞරාණික මුහුණුවරට හා චිරාගත ලක්ෂණවලට අනුකූලව රැකගෙන එන බෙලිඅත්තේ මහජනතාවට රාජාසන කථාවෙහි යට කී සඳහන ඉමහත් ප්රීතියට හේතු වන බව කිව යුතුයි.

බෙලිඅත්ත ආසනයේ රක්ෂා විරහිත උපාධිධාරීන් සහ ස්වභාෂා මාධ්යයෙන් විශ්වවිද්යාලයීය අධ්යාපනය බලාපොරොත්තු වන තරුණ තරුණියන් විශාල ගණනාවක් ඉන්නවා. රාජ්ය අංශයේ පුරප්පාඩු සියල්ල පිරවීමට සහ රක්ෂා පහසුකම් පුළුල් කරන අලුත් දෙපාර්තමේන්තු ඇති කිරීමට රාජාසන කථාවෙන් ඉදිරිපත් කර ඇති අදහස ගැන බෙලිඅත්ත ආසනයේ තරුණ පරම්පරාව බොහෝ කොට ප්රීතිමත් වන බව මා කිව යුතුයි. ඊටත් වඩා දකුණෙහි තවත් විශ්වවිද්යාලයක් පිහිටු වන්නට ඉදිරිපත් කර ඇති අදහස කෙරෙහි මුළු රුහුණම කෘතඥ වන බව කියන්න කැමතියි.

ගරු කථානායකතුමනි, මේ රටේ වර්තමාන තරුණ පරම්පරාව රක්ෂා හිඟය, අවිනිශ්චිත අනාගතය, අවිනිශ්චිත සංස්කෘතික රටාව යන මේ කරුණු නිසා සුන් වූ අපේක්ෂාවන්ගෙන් පිරුණු හිසින් බරපතළ අසහනයක දැවටී සිටින බව මා සඳහන් කළ යුතුව තිබෙනවා. පසුගිය මහමැතිවරණයේදී පැහැදිලිව පෙනුණු එක් කරුණක් තමයි, මෙම අපේක්ෂාභංගත්වයෙන්, අසහනයෙන් පෙළුණු තරුණ පරපුර සෞභාග්යමත් අනාගත ලංකාවක් බිහි කරන්නට පොරොන්දු දී සිටි සමඟි පෙරමුණ වටා රොක් වී සමඟි පෙරමුණ ජයග්රහණය කරවන්නට දිවා රෑ වෙහෙස මහන්සි වූ බව. තරුණයන්ගේ ප්රශ්න කෙරෙහි අවධානය යොමු කරන බවත්, තරුණ කටයුතු සහ සුබසාධක කටයුතු ගැන දෙපාර්තමේන්තුවක් ඇති කිරිම සඳහා පියවර ගන්නා බවටත් රාජාසන කථාවේ ඇති සඳහන මුළු ජනගහනයෙන් අඩකට වැඩි මේ තරුණ පරපුරේ අමන්දානන්දයට හේතු වන බව ඒ තරුණ පරපුරේ කොටසක් වන බෙලිඅත්ත ආසනයේ තරුණ තරුණියන් වෙනුවෙන් ඒ පරපුරේ කෙනෙකු වන මා සඳහන් කරන්නට කැමතියි.

ප්රජාතන්ත්රවාදී ජර්මන් ජනරජය, වියට්නාම ජනරජය, කොරියන් ජනරජය හා වියට්නාම් විප්ලවවාදී තාවකාලික ආණ්ඩුව සමඟ තානාපති සබඳකම් ඇති කර ගැනීමටත්, ඊශ්රායලය සමඟ දැනට ඇති තානාපති සබඳකම අත්හිටුවීමටත් රාජාසන කථාවේ කර ඇති සඳහන ද, නොබැඳුන මධ්යස්ථ විදේශ ප්රතිපත්තියක් අනුගමනය කරන බවට තිබුණ සඳහන ද අනුව, ජනතා රජය අධිරාජ්ය විරෝධී විමුක්ති සටන් ගරු කරන දූරදර්ශී මධ්යස්ථ විදේශ ප්රතිපත්තියක් අනුගමනය කරන බවට මහජනතාව තුළ ස්ථිර විශ්වාසයක් ඇති බව කිව යුතුයි.

මේ රටේ පොදු ජනතාව, අධිරාජ්යවාදය අනුමත නොකරයි; ධනේශ්වරවාදය අනුමත නොකරයි; සියලු සූරාකෑම් අනුමත නොකරයි. ඔවුන් 1970 දී තුනෙන් දෙකකටත් වඩා වැඩි ආසන ගණනක් ලබා දී සමගි පෙරමුණ අති විශිෂ්ට ජයග්රහණයකට පත් කළේ මේ නිසයි. මහජනතාව සමඟි පෙරමුණ කෙරෙහි තැබූ මේ උදාර විශ්වාසය අබමල් රේණුවක තරමින් පවා නොසැලෙන සේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට ජනතා රජය වග බලා ගනිතැයි ඔවුහු බලා සිටිති. ජනතා රජය ඉදිරියේ ඇති ප්රතිගාමී, කුමන්ත්රණකාරී, අධිරාජ්යවාදී, ධනවාදී බලවේග අප විසින් සුළුවෙන් තැකිය යුතු නොවේ. එහෙත් ඒ සෑම බාධකයක් ම බිඳ දමමින් සමාජවාදය කරා යන ගමන සහතික කරවීම සඳහා මේ රටේ තරුණ පරපුර ජීවිත පරිත්යාගයෙන් ඉදිරිපත් වන්නට සූදානම් බව තරුණයකු වශයෙන් මා එඩිතරව මේ ගරු සභාවේ දී ප්රකාශ කර සිටිනවා.

මේ ගරු සභාවට ආධුනිකයකු වන මට මේ අවස්ථාවේ දී මේ ස්තූති යෝජනාව ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දීම ගැන ගරු කථානායකතුමාටත්, ගරු අගමැතිනියටත්, ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්රීවරුන්ටත් මගේ ස්තූතියි පිරිනමමින්, අතිගරු අග්රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ පැවැත් වූ රාජාසන කථාව පිළිබඳ ස්තූති යෝජනාව මම මෙසේ ඉදිරිපත් කරමි:”

“අතිගරු උතුමාණෙනී,
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ දී ඔබතුමාණන් විසින් පවත්වන්නට යෙදුණු කථාව වෙනුවෙන් නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සාමාජිකයන් වන අපි ඔබතුමාණන්ට ස්තූති කරමු. අප වෙත ඉදිරිපත් කරන ලද සියලුම කරුණුවලට අපගේ අවධානය යොමු කරන බවත් අපි ඔබතුමාට ස්ථිර ලෙස ප්රකාශ කරමු.”

~හැන්සාඩ් වාර්තාව(1970): 111-118 පිටු~

- Advertisement -
- Advertisement -

Latest News

නලින් සර් හා අපේ කතන්දර

(2025 මැයි 02 දිනට නලින් ද සිල්වා ඇදුරුතුමන් අභාවප්‍රාප්ත වී වසරක් සැපිරේ) “අපගේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට සාහිත්‍ය මෙන්...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img