Monday, September 15, 2025

පොප් සංගීතයට ස්වර ඇල්ලූ ක්ලැරන්ස්

Must Read

විතාන ආරච්චිලාගේ ක්ලැරන්ස් ආතර් සේමසිංහ විජේවර්ධන 1943 අගෝස්තු 03 වෙනිදා හපුතලේ බ්රැඩ්ෆටන් වතුයායේ උපන්නේය. ඔහුගේ පියා වෛද්යවරයකු ලෙස එම වතුයායේ පදිංචිකරුවන්ගේ ගෞරවාදරයට පත්ව සිටි මානව හිතවාදී මිනිසෙකි. කුඩා කල පියා අකාලයේ මිය ගිය නිසා මව වූ ඒකනායක මුදියන්සේලාගේ සෝම කුමාරිගේ දැඩි පරිශ්රමයෙන් දරුවන් පස් දෙනෙකු ඇති දැඩි කර ගත්තාය. ක්ලැරන්ස් පවුලේ වැඩිමලාය.
ක්ලැරන්ස් හපුතලේ හයිලන්ඩ් විද්යාලයෙන් මූලික අධ්යාපනය ලබා ද්විතීයික අධ්යාපනය ලබා ගත්තේ මාතලේ යටවත්තේ මහසෙන් මහා විද්යාලයෙන් හා මහනුවර ධර්මරාජ විද්යාලවලිනි. පරාක්රම කොඩිතුවක්කු කිවිවරයා විසින් ලියන ලද “ක්ලැරා නම් සංගීතමය” නවකතාවේ ක්ලැරන්ස් ගැන ලියූ ග්රන්ථයෙන් ගත් උද්ධෘතයකි මේ. එහි ක්ලැරා තම කුඩා කාලය ගැන මෙසේ මෙනෙහි කර තිබුණි.
“මම හපුතලේ පැත්තේ පිටිසර ගමක උපන් කොල්ලෙක්. අල, බතල කාල හැදුණේ. පුංචි සන්දියේදී අපේ ආත්තම්මා මල්ලිටයි මටයි බතට බෙදුවේ තෙබු, අඟුණකොළ මැල්ලුම්, ඉරමුසු කැඳ හදල දුන්නා. නුවර පෙරහර පොළේදි මට පුංචි රබාන මගේ අතට ලැබුණ පළමු වැනි සංගීත භාණ්ඩයයි. ඒ රබාන ඇතුළෙන් ආපු Song Bird කෙනෙක් මගේ ජීවිතේට රිංගන්න ඇති. ”
ක්ලැරන්ස් මුල් වරට ගිටාරයක් දැක ඇත්තේ ෆ්රැන්සිස් අයියගේ බෝඩිං ගෙදරක තිබිලාය. ඊළඟට බොක්ස් ගිටාරයත්, ජපන් මැන්ඩලීනයත් මවුත් ඕගන් එකක් දැකලා, ක්ලැරන්ස්ගේ සංගීත ඇල්ම බළන්ගොඩ පල්ලියට යාපනයෙන් ආ ජේසන් මිස්ගෙන් ඕගන් එක ඉගෙන ගැනීම දක්වා දියුණු විය.
ක්ලැරන්ස් මෙන්ම කිවියර පරාක්රම කොඩිතුවක්කු යන දීර්ඝකාලීන දෙමිතුරන් රත්නපුරේ උපන් නිසා ක්ලැරන්ස් මිය ගිය පසු ඔහුගේ සොහොයුරා වූ ක්රිස්ටිගෙන් මතක සටහන් එකතුකොට ගෙන තිබේ. ක්ලැරන්ස් හොඳ සාහිත්ය සහෘදයකු ද විය. ධර්මරාජයේ උගන්නා සමයේ ඔහු “දිනමිණ” පත්ෙය් නවක කවි අතිරේකයට ද “ජනතා” පත්ෙය් කවි පිටුවට ද කවි ලිව්වේය. පසු කලෙක ක්ලැරන්ස් ගේය පද රචනයට එක්ව ඇත්තේ ද සහෘදයකු ලෙස ඉංග්රීසි සාහිත්යයට හා සිංහල සාහිත්යයයෙන් ලද ආභාසය නිසාය. මේ කාලයේ ඔහුගේ රත්නපුරේ සිටි ගජමිතුරෙකු වූ ඇනස්ලි මාලේවනගෙන් එල්විස් ප්රෙස්ලි ගැන ලියූ පොතක් තෑගි ලැබුණේය.
ක්ලැරන්ස්ගේ සාහිත්ය දැනුම ගැන කිවියර පරාක්රම පවසා තිබුණේ මෙසේය.
“ විසි වයසේදී අප හමු වී කොතෙකුත් කතා කළේ දම්පාට මැංගුස් ගෙඩිවලින් අතු එල්ලා වැටුණු ඒ ගස යටය. අපි කතා කළේ සංගීතය, ආගම, දර්ශනය ගැන. විරාගය, බැද්දේගම, මස් ලේ නැති ඇට, හෙවණැල්ල, ජීවන සුවඳ ගැන. නිසදැස් කවි, ඇනා කැරනිනා, ජේන් අයර්, එමා බොවාරි ගැන. යෝගී රාජනීෂ් ගැනය. ”
කාල් මාක්ස්, මහ බ්රහ්මන්, බෞද්ධ ශිෂ්ටාචාරය, අදිකාරම්, මයිකල් ආන්ජලෝගේ චිත්ර, සීගිරි කවි ගැන, බුදුන්වහන්සේ, ක්රිස්තුස් වහන්සේ, ක්රිෂ්ණ මූර්ති ගැන මේ දෙමිතුරෝ කහට බිබී කළ කතාවල නිමාවක් තිබී නැත.
ක්ලැරන්ස් පදිංචි වී සිටියේ කුලී ගෙයක නොවේ. එහෙත් ඔහුගේ ගෙවල් අද්දර කුලී ගෙවල් අයිතිකාරයකුගේ දුවකගේ සිතේ ඔහු පදිංචිව සිටියේය.
“දැන් මට සංගීතයත් වගේම ආදරයත් හමුවෙලා. කහපාට ඔසරියක් ඇඳගෙන මිදුල අතුගාමින් සිටින්නේ ශීලා. ගිටාරයෙන් තමයි මං එයාට කතා කළේ. ගෙදරටත් ඔසරිය අඳින පොඩි කුමාරි කෙනෙක්. කුලී ගෙවල් හත අටක පදිංචි වෙලා සිටි අපි ශීලා හිටිය දෙහිවලට ආවේ ඉරණම්කාරිය හමුවෙන්න ද කියලා මට දැන් හිතෙනවා.”
එසේ ක්ලැරන්ස් දිනපොතක ලියා තිබුණේය. ඔහු මුලින්ම සින්දුවක් ලියා ඇත්තේ තම පෙම්වතී වූ ශීලා රම්යදාසටය.
“කිමද නාවේ.. ඇයි නාවේ අද ඔයා”
වරක් ශීලා, ක්ලැරන්ස්ට ලියූ පෙම් හසුනක මෙසේ සඳහන් කර තිබුණාය.
“ඔයා අයිති මටයි. ඔයාගේ සින්දු අයිති මටයි. මට ආඩම්බරයක් හිතුණා. ඇත්තමයි ක්ලැරා, ඔයා දුක් වෙන්න එපා. මම එනවා. ඔයා මට කතා කරන තුරු මම ඉන්නවා. ඔයා අයිති මට. කිමද නාවේ කියලා දුක් වෙන්න එපා යනුවෙනි. ”
ක්ලැරන්ස් විසින් ශීලා වෙනුවෙන් ගීත කිහිපයක්ම ලියා ගයා ඇත. “සිහින් සිනහවයි”, “මුතු මැණිකේ”, “මගේ සිරියාවතී” මේ අතර සුවිශේෂය.
1966 වසරේ සිදු වූ ක්ලැරන්ස් සහ ශීලාගේ විවාහය ඉතා සරල චාම් එකක් විය. එය මඟුල් ෆොටෝ නැති කිහිප දෙනෙකුට සීමා වූ විවාහයකි.
අම්මා විසින් ක්ලැරන්ස්ට තෑගි කළ ගිටාරය ලැබුණ දා ඔහුට තිබූ ලොකුම සිහිනය වූයේ කවදා හෝ සංගීත කණ්ඩායමක් බිහි කිරීමය. එය ඉටුකර ගැනීමට මුල් පදනම දැමුවේ සඟබෝ කොරයා මහතාය. නමක් නැති ක්ලැරන්ස්ගේ සංගීත කණ්ඩායම සඟබෝ මහතාගේ නිවසට ගොස් ඇත්තේ ඔහුගෙන් උපකාරයක් ලබා ගැනීමටය. එහි දී සමූහ ගීයක් ගැයූ, සංගීත කණ්ඩායමේ “ප්රධාන ගායකයකු නැත්තේ ඇයි” කියා කොරයා මහතා අසා තිබුණි. එකල ක්ලැරන්ස් ගායකයෙකු වී සිටියේ නැත. රත්නපුරේ ජනප්රියව සිටි ඇන්ස්ලි මාලේවන සොයා ගිය ක්ලැරන්ස් ඔහු කැඳවාගෙන ආවේය. ඇන්ස්ලිගේ ගීත ඇසූ කොරයා මහතා ක්ලැරන්ස්ගේ සංගීත කණ්ඩායමට “මූනස්ටෝන්” නම තැබීය. උදවු කළේය.
සඟබෝ මහතාගේ කුඩා දියණිය ගැන ලියූ ගීතයකින් “මූන්ස්ටෝන්” කණ්ඩායම වැඩ ඇරඹූහ. ගීතය රචනා කර තනුව නිර්මාණය කළ ක්ලැරන්ස් ඉන්ද්රානි පෙරේරාට ගීතය ගායනය පැවරීය.
“දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය දී
නඬා නිදියන්නේ”
මේ ගීතය අතිශයින් ජනප්රිය වූ පසු නිකුත් වූ තැටිය කණ්ඩායම් සංගීත ඉතිහාසයේ වාර්තා තැබීමෙන් පසු “සීගිරිය” EP තැටිය නිකුත් කළ ක්ලැරන්ස් නිර්මාණය කළ “සුමුදු මල් පිපුණු අතු කොනේ” “වන දෙව්ලිය තුරුලේ” “කාගෙද ගොන් වස්සා” ඉන්ද්රාණි පෙරේරා හා මූන්ස්ටෝන් ගායක කණ්ඩායම ගැයූ ගීත රසික ප්රසාදය දිනාගත්තේය.
මේ වන විට ක්ලැරන්ස් රචනාකොට නිර්මාණය කර ගායනා කළ ජනප්රිය ගීත කිහිපයකි මේ.
“මලට බඹරෙකු සේ” , “ගමෙන් ලියුමක් ඇවිල්ලා”, “මංගෝ කළු නැන්දේ”, ‘කිරි මූද කළඹාලා ගෙනා”
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ “ශ්රී ලංකාවේ කණ්ඩායම් සංගීතය” ක්ලැරන්ස් ගැන කෘතියේ සඳහන් කර තිබුණේ මෙසේය.
නෙවිල් ප්රනාන්දු ආරම්භ කළ සංගීත කණ්ඩායම් සංගීතය ගීත අභිෂේක කළ තැනැත්තා ක්ලැරන්ස් විජේවර්ධන බවත්, ගීත රචනය, තනු රචනය, සංගීත සංයෝජනය, ගායනය යන සකල විධ අංශවලින් ක්ලැරන්ස් විජේවර්ධනයන් කණ්ඩායම් සංගීතය උසස් ස්තරයකට ගෙන ආ බවය.
දිනක් ක්ලැරන්ස් “සිළුමිණ” පුවත්පතේ කවි පිටුවේ පළ වී තිබූ පද්ය රචනයකට සිත් බැඳගත්තේය. එය ලියා තිබුණේ කරුණාරත්න අබේසේකරයන් විසිනි. ඔහුට අපූරු තනුව මැවුණේ නිරායාසයෙනි. කරුට ටෙලිෆෝනයෙන් කතා කර ඔහු ඇමතීය.
“කරු අයියා මම ක්ලැරන්ස් විජේවර්ධන. අද සිළුමිණ පත්රයට ලියලා තිබුණ කවි පන්තියට මම තනුවක් දැම්මා.
“කියන්න මල්ලී”
ක්ලැරන්ස් ගිටාරය වයමින් ගැයීය.
“දිලීප පොඩි පුතු සනීපයට නිදි
මවගේ උකුළු යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළු හිමි ජීවන රජ දහනේ”
ක්ලැරන්ස් එදා ඒ ගීතය ගැයුවේ දිලීප අබේසේකර නම් විශිෂ්ට නිර්මාණවේදියා ගැනය.
ක්ලැරන්ස් 1972 මූනස්ටෝන් කණ්ඩායමෙන් සමුගෙන “ද ගෝල්ඩන් චයිම්ස්” බිහිකොට ගැයූ මේ ගීතය එදා කතරගම බැතිමතුන්ගේ භක්ති ගීතයක් ලෙස ජනප්රිය විය.
“කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුණු සිතැතිව පුද දෙමු බැතියෙන”
මේ ගීතය ගයද්දී කතරගම පූජා භූමියේ සිදු වූ හාස්කමක් ගැන ක්ලැරන්ස් මා සමඟ “සරසවිය” පත්රයට ලියූ විශේෂාංගයක දී මෙසේ කීවේය.
“මගේ ගිටාරය ජීවත් වෙලා කියල මට දැනුණා. මම හිස හරවලා ඇනස්ලි දිහා බැලුවා. ඔහුගේ දෙතොල වෙවුලන්ට පටන් ගත්තා. ශ්රී කාන්තගේ ඩ්රම්ස් හඬ ලේ රත් කරගෙන පුපුරු ගහනවා. නාගසලම් ශබ්ද තරංගයන්ගෙන් මුළු කතරගම පූජා භූමියම ගිගුම් දෙනවා. අප දෙපසින් “හරෝ හරා” හඬ නැඟුණා. අපි මහ වන්දනාවක. මහා හාස්කමක්. ”
ජනප්රිය ගායකයකු වූ ක්ලැරන්ස් වෙනත් ජනප්රිය ගායකයන් සඳහා ද මියුරු ගීතවලට තනු නිර්මාණ කර දීමට තරම් නිහතමානී විය. “එදා රෑ ගුවන් තොටුපළේදී මා”, “ගන අඳුරේ රළ පතරේ” (මිල්ටන් මල්ලවාරච්චි) “සීත රෑ වසන්තේ” (සනත් / මල්කාන්ති) “මල් පිබිදෙන එක වසන්ත සමයක” (ජෝතිපාල) “මතකය ඇසුරින්” (ඉන්ද්රානි පෙරේරා)
එච්.ඩී. ප්රේමරත්න අධ්යක්ෂණය කළ ප්රථම චිත්රපටය වූ “සිකුරුලියා” චිත්රපටයේ සංගීත අධ්යක්ෂණය කිරීමෙන් සිනමා ක්ෂේත්රයට පිවිසි ක්ලැරන්ස්ගේ තනු නිර්මාණ අතිශය ජනප්රිය විය. “සිකුරුලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා” (ගායනය මිල්ටන් පෙරේරා) “වසන්තයේ මල් කැකුළයි” (ගායනය – ඉන්ද්රානි පෙරේරා” “අපේක්ෂා” චිත්රපටයේ එන “සඳ තනිවෙලා” “කලක් ඇවෑමෙන් පෙරුම් පුරා” (ගායනය මිල්ටන් මල්ලවාරච්චි හා ඇන්ජලීන්) “සොඳුරු ලොවට මල් වැහැලා” (ගායනය – ජෝතිපාල හා ඇන්ජලීන්) මේ ජනප්රිය චිත්රපට ගීත විය. “චතු මධුර” “හලෝ ශ්යාමා” චිත්රපටවලට ද “සුසීමා” හා “නිදිකුම්බා” ටෙලිනාට්යවල සංගීත අධ්යක්ෂණය කළ ක්ලැරන්ස් තම දියණිය වෙනුවෙන් ද ගීත කිහිපයක් ගයා ඇත.
1996 දෙසැම්බර් මාසයේ 13 වෙනිදා සැත්කමකට භාජනය කළ ක්ලැරන්ස් දෙව් මව් තුරුලට ගියේ වයස අවුරුදු 54ක ජීවිතයට සමුදෙමිනි. කිවියර පරාක්රම කොඩිතුවක්කුගේ සංගීතමය නවකතාව අවසන් කර තිබුණේ ක්ලැරා මිය යාමට පෙර වෛද්යවරයාට කියා ඇත්තේ Happy, I Contribute to the Country (මම සතුටින්, මම රටට මගේ කොටස ඉටු කළා) කියාය. සංගීතවේදී නදීක ගුරුගේ විසින් ලියන ලද “ක්ලැරන්සියානු පොප් සංගීතය” කෘතියෙන් ගීතාරුව සහ ක්ලැරන්සියානු ගීතය අතර ඇති අන්තර් සම්බන්ධතාවය ද නූතන සිංහල පොප් ගීතය ද ගවේෂණ මාර්ග කිහිපයක් ඔස්සේ විශ්ලේෂණයට පාත්ර කරනු ලබයි.
ඒ.ඩී. රන්ජිත් කුමාර
- Advertisement -
- Advertisement -

Latest News

මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සිදු කරන ලද ප්‍රථම පාර්ලිමේන්තු කථාව

මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සිදු කරන ලද ප්‍රථම පාර්ලිමේන්තු කථාව ය.=================================='මහින්ද රාජපක්ෂ' මෙරට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ අප කවුරුත්...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img